ගර්භනී සමයේදී මවගේ මානසික සෞඛ්‍යය සහ සතුට, කුස තුළ සිටින දරුවාගේ ශාරීරික, මානසික සහ බුද්ධිමය සංවර්ධනයට කෙළින්ම බලපාන බව වෛද්‍ය විද්‍යාත්මකව මෙන්ම මනෝවිද්‍යාත්මකව ද තහවුරු වී තිබෙන සත්‍යයකි. මේ පිළිබඳව ගැබිණි මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ඔක්තෝබර් මස 21 වන දින උඩයාර්තොප්පුව ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන මීගමුව ප්‍රාදේශිය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත මුල් ළමාවිය සංවර්ධන නිලධාරි හේමන්ති මහත්මිය විසින් සංවිධානය කරන ලද අතර ප්‍රවීන ගුවන් විදුලි සහ රූපවාහිණි විද්‍යා උපදේශක , මනෝ චිකිත්සක, ක්‍රීඩා වෛද්‍ය පෝෂණ පිළිබඳ උපදේශක වෛද්‍ය අනුර අරඹගේ මහතා විසින් හරවත් දේශණයක් පවත්වන ලදි. මෙහිදී ගර්භණී මාතාවන්ට අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සලය බැඟින් පිරිනැමීමද සිදුවිය.


ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව වැඩිහිටි බලමණ්ඩලය සහ හෙල්ප් ඒජ් (HelpAge) ආයතනය එක්ව සංවිධානය කළ "මීපුර වැඩිහිටි මහෝත්සවය" 2026 ඔක්තෝබර් මස16 වැනි දින මීගමුව රුක්මණී දේවී රංග ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන වර්ණවත් පාගමනකින් ආරම්භ වූ අතර, වැඩිහිටි පරපුරේ සුන්දර කලා දක්ෂතා සහ විවිධ ක්ෂේත්රවල කුසලතා අගයමින් ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු විය.මෙම අවස්ථාව සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චතුර මිහිඳුම් මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මිය, පරිපාලන ග්‍රාම නිලධාරී දුමින්ද බස්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ. එමෙන්ම, හෙල්ප්ඒජ් ආයතනයේ නිලධාරි මහත්ම මහත්මීන්, මීගමුව සංචාරක සංගමයේ සභාපති වර්ණ කුමාර මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් සහ ප්‍රදේශයේ වැඩිහිටියන් විශාල පිරිසක් ද මෙම උත්සවයට එක්ව සිටියහ.




"මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන මෙවර ලෝක ළමා දින තේමාව පෙරදැරි කරගනිමින්, දැයේ මල්කැකුළු වැනි දරු දැරියන්ගේ හෙට දිනය අර්ථවත් කිරීමේ පරමාර්ථයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා ඒකකය මගින් සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් උත්සවය , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මීගමුව රුක්මණී දේවී රංග ශාලා පරිශ්‍රයේදී 2026 ඔක්තෝබර් 14 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් පෙර පාසල් 8 ක සිඟිති දරු දැරියන් 200 ක් සහ දෙමාපියන් හා ගුරුවරියන් 250ක් සහභාගී වූ මෙම උත්සවයේදී, ළමා සිත් කුල්මත් කළ විනෝදාත්මක අංග රැසක් අතරින් කාටුන් ලොවේ ආදරණීය "ගාෆිල්ඩ්" චරිතයේ ආගමනය කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන්ද ප්රමෝදයට පත් කරමින් උත්සවය වර්ණවත් කළේය. දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා දෙමාපියන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් අර්ථපූර්ණ දේශනයක් පවත්වන ලද අතර මනෝ විද්‍යා උපදේශක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාගේ දෘශ්‍ය මාධ්‍ය උපයෝගී කරගනිමින් ඩිජිටල් තිරයේ සිරකරුවන් වන දරුවන්ගේ මානසික සුවය හා ආරක්ෂාව වෙනුවෙන් දෙමාපිය අවධානය යොමු කෙරිණි. එපමණක් නොව, පවුලේ අඩදබර හමුවේ තැවෙන කුඩා මනසක සංවේදී බව තේමා කරගනිමින් පැමිණ සිටි සැමගේ නෙතඟට කඳුළක් එක්කළ අතිශය සංවේදී රංගනයක් වූ "නිහඬ කඳුළු" කෙටි නාට්‍යය කාර්යාලීය නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදි.




බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය සංවිධානය කල ගම්මැද්දේ රස මීවිත වැඩසටහන 2026 ඔක්තෝබර් 15 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ඡායාරූප ශිල්පී මෙන්ම ගායන ශිල්පී ගාමිනි ඩයස් මහතා ඇතුලු කණ්ඩායම විසින් සම්පත්දායකත්වය ලබාදුන් අතර සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්යාලීය නිලධාරින් ,කාන්තා බල මණ්ඩලයේ නිලධාරින් හා සාමාජිකයින්, සංස්කෘතික බල මණ්ඩල සාමාජිකයින්, ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකයින් සහභාගි වන ලදි.


මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම
රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය තහවුරු කරමින්, අල්ලසින් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් රාජ්‍ය අංශය තුළ විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන ආයතනික සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇත. ඒ අනුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ස්ථාපිත කරන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයේ (Internal Affairs Unit – IAU) සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
රාජ්‍ය සේවයේ අවංකභාවය හා වෘත්තීය ආචාරධර්ම ශක්තිමත් කිරීමත්, අල්ලස්, දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීමට දායක වීමත්, සියලුම පුරවැසියන් වෙත කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් හා වගකීම් සහගත රාජ්‍ය සේවාවක් සැපයීමත් මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු වේ.





















